
ඔබගේ හෝ ඔබේ සමීපතමයෙකුගේ සිත ලෙඩ වෙලාද? කොහොමද හදුනා ගන්නේ?
“එයා දැන් ඉස්සරට වඩා හරි වෙනස් වෙලා. කාමරේ ඇතුලටම වෙලා ඉන්නව මිස කොහේවත් යන්න එන්නෙ නෑ. කන්නෙ බොන්නෙත් ඕනිවට එපාවට. කතා කලාම ඇහුනෙ නෑ වගේ ඉන්නව. කිසි පිළිවෙලකුත් නෑ ඔහේ අතට අහු වුණු දෙයක් ඇදගෙන මූණ කටවත් හෝදන්නෙ නැතුවයි හුගක් වෙලාවට ඉන්නෙ.”
මේ වගේ කතා සමාජයේදි අපිට නිතරම අහන්න ලැබෙනවා. ‘බූට් එකක් කාලා වෙන්න ඇති’, ‘තාම ජොබ් එකක් සෙට් වුනේ නැති නිසා වෙන්න ඇති’, ‘විභාගෙ ෆේල් වුනු නිසා වෙන්න ඇති’ යනාදී වශයෙන් පිටින් පෙනෙන හේතුවකට මේ ‘වෙනස’ බැර කර, ‘ඕක ටික දවසකින් හරි යාවි’, ‘ජොබ් එකක් හම්බ වුනාම හරි යාවි’, ‘මිනිහටම හිතුණු වෙලාවක ඔය විකාර නවත්තලා ආපහු පුරුදු ජීවිතේට ඒවි’ කියමින් ඒ ප්‍රශ්නය පැත්තකට දාන්නයි බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ.
හැබැයි මේකෙ ඇත්ත තත්ත්වය මේ හිතන දේවල් වලට වඩා බොහොම බරපතල වෙන්න පුළුවන්. මේ ඔබ දකින්නේ මානසික රෝගී බවට පත් වූවෙකු වෙන්න පුළුවන්. අනිත් අතට, ඔය ඉහතින් සදහන් ඕනෑම හේතුවක් නිසා ඕනෑම කෙනෙක් යම් කාලයක්, ඉහත විස්තර කර ඇති අයුරින් විස්සෝප වෙමින් ගත කිරීමත් සාමාන්‍ය දෙයක්.
එසේ නම්, ඔබ දකිනා තත්වය සාමාන්‍ය විස්සෝප වීමක්ද, නැතිනම් මානසික රෝගයක් ද කියා කොහොමද හදුනා ගන්නේ?
මේ සදහා කරුණු 3ක් කෙරෙහි මූලික අවධානය යොමු කළ යුතු වෙනවා.
01. අදාළ පුද්ගලයාගේ සිතන පතන ආකාරයේ, හැසිරීමේ සහ එදිනෙදා කටයුතු වල නියැලීමේ වෙනසක් තිබෙනවාද?
(උදා: කලින් බොහොම සමාජශීලීව සිටි කෙනෙකු හිටි හැටියේම සමාජය මග හරිමින් තනිව සිටීමට දිගින් දිගටම උත්සාහ කරයි නම්, එය අවදානය යොමු කළ යුතු කරුණක්)
02. ඒ වෙනස, දවසක් දෙකක් නොව කාලයක් තිස්සේ එකදිගටම පවතින්නක්ද?
(උදා: යම්කිසි සිත්බිදීමකට පසු කෙටි කාලයක් දුක් වෙමින්, හඩමින් ගත කිරීම සාමාන්‍ය දෙයක්. නමුත් ක්‍ර්මයෙන් මේ ලක්ශන අඩුවෙමින් අදාල පුද්ගලයා යථා තත්වයට ටික ටික හෝ ලගා විය යුතුයි. එසේ නොවී, මුල් ආකාරයෙන්ම දිගින් දිගටම දුක් වෙමින්, හඩමින් කල් ගෙවනවා නම් එය අවදානය යොමු කළ යුත්තක්)
03. මේ ඔබ දකිනා තත්වය, ඒ අදාල පුද්ගලයාගේ කලින් පැවති සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් තත්වයක්ද? (උදා: සමාජ ඇසුර අවම වන ලෙස තමාගේ පාඩුවේ සිටීමට උත්සාහ කිරීම, introvert පුද්ගලයෙකුගේ සාමාන්‍ය ස්වභාවයක්. එවන් පුද්ගලයෙකු නිතර තනිව සිටීම මානසික රෝගයක පෙරනිමිත්තක් වන්නේ නෑ. එසේ වන්නේ, කලින් බොහොම සමාජශීලී පුද්ගලයෙකු එකවරම සමාජය මගහැර තනිව සිටින්නට උත්සාහ කරනවානම්. ඒ කියන්නේ, කලින් ස්වභාවයට වඩා වත්මන් හැසිරීම් ස්වභාවයන්ගේ ‘වෙනසක්’ තිබෙනවා නම්, එය අවදානය යොමු කළ යුත්තක්.)
මේ උදාහරණ වලින් පෙන්වා ඇති පරිදි, ඉහත කාණ්ඩ 03 ටම අයත් ලක්ශණ යමෙක් පෙන්නනවා නම්, ඒ පුද්ගලයා මානසිකව රෝගී වී සිටිය හැකිය. (මේ ලක්ශණ 03 තිබූ පමණින් යමෙක් මානසික රෝගියෙක් වන්නේ නැත. එය හරියටම තීරණය කළ යුත්තේ මනෝ වෙයිද්‍යවරයෙකු විසිනි. නමුත් තම සමීපතමයෙකු මෙම ලක්ශණ පෙන්නනවා නම්, මනෝ වෙයිද්‍යවරයෙකු වෙත ඒ පුද්ගලයා මේ මොහොතේ යොමු කිරීමට සුදුසු බව තීරණය කිරීමට පමණක් ඉහත ලක්ශණ උපයෝගී කර ගත යුතුය.)
මෙහි අංක 01 යටතේ දක්වා ඇති කරුණ තව දුරටත් විමසුවහොත්, මෙම ලක්ශණ ප්‍ර්ධාන වශයෙන් මනෝභාවයේ වෙනස්කම් (Mood changes), හැසිරීමේ වෙනස්කම් (Behavioral changes) සහ සිතුම්පැතුම් රටාවේ වෙනස්කම් (Thinking pattern changes) ලෙස දැක්විය හැක.
නිතරම මනෝභාවය (Mood) අසාමාන්‍ය ලෙස විචලනය වෙනවා නම්, නිතරම දුක්මුසු මුහුණක් (depressed) හෝ අවස්ථාවට හෝ තැනට උචිත නොවන සේ අසාමාන්‍ය ව සතුටු මුහුණක් (elated) සහිතව ඉන්නවා නම් (උදා: ප්‍රීතිමත් අවස්ථාවක පවා දුක්මුසුව සිටීම, සියලු දෙනාම ශෝකවන අවමංගල්‍යයක් වැනි අවස්ථාවකදී පාලනය කරගත නොහැකි ආකාරයේ සතුටු මුහුණකින් යුතුව හැසිරීම) එය, මානසික රෝගයක පූර්ව ලක්ශනයක් විය හැකියි.
පෙර පැවති හැසිරීම් රටාවට වඩා වෙනස් හැසිරීම් එනම්, අතිශය ආවේගශීලී හැසිරීම් නිතරම පෙන්වීම, දෙයිනික කටයුතු සහ සනීපාරක්ෂක කටයුතු දිගින් දිගටම අතපසු කිරීම, දිගින් දිගටම පවතින අධික නින්ද හෝ නින්ද නොයාම, ආහාර අරුචිය හෝ අසාමාන්‍ය ලෙස ආහාර රුචිය වැඩිවීම, සමාජ සම්බන්ධතා වලින් ඈත් වීම, නිතරම අධික අස්ථාන භයකින් යුතුව හැසිරීම යනාදී දේවල්, අසාමාන්‍ය හැසිරීම් ලෙස සැලකිය හැකිය.
නිරන්තරයෙන්ම අසුභවාදීව සිතීම, පදනම් විරහිතව තමා වටා සිටින සමීපතමයින් පවා සැක කිරීම, තමන්ට අනිත් සියලුම අය නරකක් කරනවා යැයි නිතර සිතීම, යථාර්ථය දිගින් දිගටම ප්‍ර්තික්ශේප කිරීම, යමකට අවධානය යොමු කිරීමට අපහසු වීම,
කලින් තමා ප්‍රිය කල දේට හිටිහැටියේ අකමැති වීම වැනි ලක්ශණ, සිතුම් රටාවේ වෙනස්කම් වලට උදාහරණ කිහිපයකි.
මේ ඉහත කරුණු වලින් කිහිපයක් පවතී නම්, එම ලක්ශණ නොවෙනස්ව නිරන්තරයෙන් කාලයක් තිස්සේ පවතී නම් සහ මේ ලක්ශණ අදාල පුද්ගලයාගේ පෙර ස්වභාවයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් නම්, ඔහු/ඇය මානසික රෝගයක මූලික අවස්ථාවේ සිටී යැයි සැක කල හැකියි. මේ අවස්ථාවේ කළ යුතු සුදුසුම දෙය වන්නේ මනෝ වෙයිද්‍යවරයෙකු වෙත එම පුද්ගලයාව යොමු කිරීමයි.
‘මානසික රෝගයක් වැළදෙන්නේ ඇයි?’
මීළග කොටසින් කතා කරමු.
360/2/A/2,
Suwa mawatha,
Walgama,
Athurugiriya.